Tuesday, February 8, 2011

සිංහල සිනමාව ගොඩ ගැනීම


සිංහල රූපවාහිනියේ /සිනමාවේ දැන් ඉන්නේ ජනප්‍රියත්වයෙන් ඔළුව උදුම්මාගත් හැකියාවට වඩා මූණ පෙන්නන චරිත ටිකක්. රූපවාහිනිය අමතක කලත් සිනමාවට නම් උන්ගෙන් වැඩක් නෑ. සෞම්‍ය ලියනගේ, මහේන්ද්‍ර පෙරේරා
සහ ධර්මප්‍රිය ඩයස් හැරුණු කොට අනික් උන් සේරම හුදු ජනප්‍රියත්වය මත දුවන්නේ. අශෝක හඳගම, ප්‍රසන්න විතානගේ, බුඩී කීර්තිසේන හැරුණු කොට බලන්න වටින චිත්‍රපටයක් හදන්න එකෙක් නෑ. වාණිජ සිනමාව විහිළුවක් බවට පත්වී තියෙන එක අමුතුවෙන් කියන්න ඕනෙ නෑ. අනුකරණය, සාම්ප්‍රදායිකත්වය පමණයි හැමදාම දකින්න තියෙන්නේ. මහ ලොකු වාණිජ අධ්‍යක්ෂකවරු කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි වියදම් කරලා හදන්නේ දෙකේ පන්තියේ රඟපෑම් සහ හින්දි පිටපතක අනුරූ. ඒ කාලේ හිටපු හොඳ මිනිස්සු එක්කො මැරිලා නැත්තම් දැන් රඟපාන්නෙ නෑ, අපේ ජෝ මහත්තය වගේ. ඒ කාලෙ ඉඳල තාමත් රඟපාගෙන එන කට්ටිය කරන්නෙම අධි තාත්වික රංගන. ගරු රඟපෑම් කියල හැම චිත්‍රපටයකටමත් රිංගගන්නව. ඉතින් මේ අබ්බගාත සිනමාව ගොඩ ගන්න එකෙක් ලංකාවෙ කොහේ හරි ඉන්නවනම් ඌට තමයි මේ අදහස් කීපය.

1) කියන්න වටින කතාවක් ලියන්න.
හින්දි කතාවක් අරගෙන අපේ සෝබන සෙට් එක මල් ගස් වටේ දුවවන්න හිතන්නවත් එපා. සාම්ප්‍රදායික පවුල් අවුල්, යුද්ධය/සාමය, මෝඩ ජෝක්
, බොළඳ ප්‍රේම කතා ඔළුවෙන් ඉවත් කරලා අළුත් දෙයක් හිතන්න බලන්න.

2) වටින නළු නිළියො හොයාගන්න
දැන් ඔය හැම තැනම පේන්න ඉන්න තරු කියල හිතාගෙන ඉන්න එවුන් දිහාවත් බලන්න එපා. වේදිකාවෙන් තමා හොඳ නළුවො බිහිවෙන්නෙ. උන් තමා නියම තරු. නළුවො හොයාගන්න ඕනෙ නම් වේදිකා නාට්‍යයක් බලන්න යන්න. උන්ව දාලා හොඳ චිත්‍රපටයක් කලොත් ඔය පාට පාට ජනප්‍රිය බැලුම් ටික නිකම්ම පිපිරිලා යනවා. රඟපෑම ගැන කියනව නම්, අතාත්විකව ඇහිපිල්ලමක් වත් ගහන්න දෙන්න එපා.

3) තාක්ෂණය අමතක කරන්න එපා
හොඳ චිත්‍රපට කැමරාවක් කියන්නෙ චිත්‍රපටයට අත්‍යාවශ්‍ය දෙයක්. කැමරාකරණය, ආලෝකකරණය, සංස්කරණය සඳහා නවීන තාක්ෂණ භාවිත කරන්න. මුදල් වැදගත් වෙන්නෙ මේ වෙලාවට තමයි.

4) කලාව
කලාත්මකව කරන දේ කරන්න. ලේසියි කියල කැමරාව අටවල බලාගෙන ඉන්න එපා, බඩගාගෙන හරි ගිහින් අදාල දර්ශනය ගන්න. ආලෝකකරණය, කලා අධ්‍යක්ෂණය, කැමරාකරණය යන විෂයන් ගැන දන්න, කලාව ඇඟේ තියෙන පිරිසක් හොයාගන්න.

5) සංගීතය
ලෝකෙ තියෙන හොඳම චිත්‍රපටයෙනුත් වැඩක් නෑ සංගීතය නැත්නම්. අපේ සිහිය තියෙන්නේ ගලාගෙන යන කතාවෙ වුණත් සිහියෙන් කොටසක් අපි දන්නෙම නැතුව සංගීතයේ තියෙනවා. ප්‍රසිද්ධ සංගීතඥයො ඕනෙ නෑ, සංගීතය ඇඟේ තියෙන, අළුත් විදිහට හිතන සංගීතකාරයෙකුයි, පරිපාලකයෙකුයි හොයාගන්න.

ඉතුරු ටික තියෙන්නෙ ඉතින් ඔබ අතේ. කියවනකොට සරලයි වගේ පෙනුණට ඔබෙන්ම අහල බලන්න සිංහල සිනමාව මේ ඔක්කොම අනුගමනය කරනවද කියල.

Monday, March 8, 2010

බෝට්ටුවෙන් යෑම සහ තවත් කථා

වසර 30 කට පසු යුද්ධය නිමවී දැන් රටම එක කොඩියක් වී පවතින කල මේ පුංචි දිවයිනේ යා ගත නොහැකිව තිබූ සෑම අස්සක් මුල්ලකටම යෑම තවදුරටත් ප්‍රශ්නයක් නොවන තරම්ය. මෙම උන්මාදය පටන්ගත්තේ යුද්ධය නිමවන්නට ඔන්න මෙන්න තිබියදී ආරුගම් බොක්කටත්, ඉන්පසු ත්‍රිකුණාමලයටත් ඉනික්බිතිව යාපනය අර්ධද්වීපයටත්ය. ලක්ෂ ගණනින් රට පුරා ජනතාව මේ ප්‍රදේශවල සංචාරය කරන්නට පටන් ගත්තේ තම රටේම තමන් ආගන්තුකයන්ව සිටිය නිසා විය හැක. මේ ලිපියේ අරමුණ යාපනයේ අසිරියෙන් බිඳක් ඔබ හමුවේ තැබීමත් තවත් එක්තරා කාරණයක් පිළිබඳ දෝෂාරෝපණයක් කිරීමත්ය.

යාපනය නගරය දැක බලා ගැනීමට සහ බෞද්ධාගමිකයන්ට විශේෂ වැදගත්කමක් හොබවන නාගදීපය හෙවත් නයිනතිවු දූපතට යනෙන ජන ගඟ අති මහත්ය. බස් රථ, වෑන් රථ පිරී ඉතිරී ගොස් ඇත්තේ යාපනයේ ජනයාගෙන් නොව රටේ සියළු පළාත් වල ජනයාගෙනි. මෙම ජන ගඟ කෙතරම්ද යයි කිවහොත් යාපනය නගරය තවත් පිටකොටුවක් බවටම පත්වී ඇත. කීයක් හෝ වැඩියෙන් යමක් විකිණීමට තිබුණද නොපැකිලව එය රැගෙන එන්නේ 'යාපනයෙන්' ගත් බව උජාරුවට පවසමිනි. යාපනය දැන් සංවර්ධනය වෙමින් පවතින්නේ මහත් වූ වේගයකිනි. නගරය තුල සියළුම බැංකු ශාඛා අළුතින්ම අරඹා ඇති අතර වෙළඳ කටයුතු අති සාර්ථකය. ගොවිතැන කෙතරම් ඉහලදැයි කිවහොත් ඔවුහු යාපනයේ කැරට්ද ගෝවාද වගා කරන අයුරු සාක්ෂි වනු ඇත. නිල්වන් කෙත් යායන් අතර තුර තල් ගසක් දෙකක් නුදුටුවේනම් මේ යාපනයදැයි යමෙකුට සැකයක් ඇති නොවන්නා නොවේ. යුද්ධයක නටබුන් සැඟවී යද්දී නව ගොඩනැගීම් ඉදිවෙයි, දැවී අළුවී ගිය දකුණු ආසියාවේ ලොකුම පුස්තකාලය නැවත තේජාන්විතව බැබලේ. පැරණි පෘතුගීසි බලකොටුව සංස්කෘතියක නටබුන්ය. යාපනය නගරය තව ටික කලෙකින් මේ පුංචි දිවයිනේ ඉතාම සංවර්ධිත වටිනා නගරයක් වනු ඇත. එයට සාක්ෂි අද එහි ගියහොත් ඔබට දිස්වනු ඇත.

බෞද්ධාගමිකව යාපනය වැදගත් වනුයේ නාගදීපය සම්බන්ධවය. චූලෝදර මහෝදර නා රජවරුන්ගේ මැණික් පුටුවක්/පළඟක් සම්බන්ධ පලහිලව්ව බේරනු වස් බුදු රදුන්ගේ ලංකාගමනය සිදුවීම හා ඉන් පසුව උන් වහන්සේ උදෙසා පූජා කරනු ලැබූ ඒ පළඟ තැන්පත් කර සෑදවූ දාගැබ පිහිටීම මෙම වැදගත්කමට හේතුවයි. පුන්කුඩුතිවු සිට පැය භාගයක පමන බෝට්ටු ගමනකින් ලඟාවිය හැකි නයිනතිවු දූපතේ නාගදීප විහාරයට අමතරව තවත් ඇති විශේෂ ඉදිකිරීම නම් නාගභූෂණී අම්මාන් කෝවිලයි. මෙම සිද්ධස්ථාන දෙකම වන්දනා කරගැනීමට සිංහල දෙමළ සියල්ලෝ බෝට්ටුවල නැගී යති. මෙම බෝට්ටු ගැන හොඳවායින් වචන ස්වල්පයක් කථා කිරීම දැන් මම අරමුණු කරගනිමි. කලෙක මසුන් මැරීමට භාවිතා කරනු ලදුව, ලඟකදී පටන් ඇතිවී ඇති ව්‍යාපාරික අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගනු වස් තට්ටුවක් ද, වා කවුළුද යොදා සකස් කරගෙන ඇති මෙම බෝට්ටු විස්සක් පමණ (නිශ්චිත නැත) දැනට සේවයේ ඇත. මෙම බෝට්ටු සකස් කිරීම සිදුවන්නේද නාගදීපයේ ජැටියට ගෙනැවිත්ය. බැලූ බැල්මින් වැඩි ප්‍රමාණයක් ගෙන යා නොහැකි බවක් පෙනුනද, එහි ඇතුල වටේටම වාඩි වියහැකි ලෙස සකසා ඇත. ප්‍රශ්නය ගොඩ නැගෙන්නේ කිසිදු අනුකූලතාවක් නොමැතිව සතුන් මෙන් මිනිසුන් පටවන්නට යෑමෙනි. නාගදීපයට යන ජන ගඟ කිලෝමීටරයක පමණ දිගු පෝළිම් ගැසී සිටින්නේ කිසිම අනුකම්පාවක් නැති දැවෙන අව්වේය. අපේ මිනිසුන් පෝළිම් වල සිටින්නට අකැමැති නිසා විටෙක පොර කන අතර තව විටෙක දොර අසල තෙරපති. නාවුක නිළධාරීන්ගෙන් දෙක තුනක් අසාගෙන නැවත වලි කන අතර පැයක් හමාරක් මේ අව්වේ කරවෙමින් තෙරපීම ඉතා සුවදායක බව ඔබට නිතැතින්ම වැටහෙනු ඇත. (සති අන්තයක යෑමෙන් තරු විසිවේ.) මෙම පෝළිම ගණන් කරමින් ජැටියට යොමු කරනුයේ නාවික හමුදාවේ නිලධාරීන් විසිනි. බෝට්ටුවකට පැටවිය හැකි ගණන ජැටියට යොමු කල පසුව බෝට්ටුවක් සාධාරණ මට්ටමකට පිරෙන අතර, ඊලඟ බෝට්ටුවට යොමුකළ පිරිසෙන්ද අඩක් පමණ ඊට ගොඩ වෙති. හුස්මක් කටක් ගත නොහැකි මට්ටමක බෝට්ටුව පිරෙණුයේ එවිටය. ඒ මදිවට නාවුක හමුදා දෝෂාරෝපණ මධ්‍යයේ වහලයේද පුළුවන් තරමක් දමාගැනීම නොකරාම බැරිය. ඒ අතර බෝට්ටු කොන්දාද රිංගමින් පැමිණ රු.20ක වූ මුදල අයකර ගන්නා අතර, විදුලි ආලෝකයක් නැති හවස් කාළයේදී විදුලි පන්දමක්ද රැගෙන පැමිණේ. බෝට්ටුවලට නැගීම හා බැසීම කිසිදු පාලනයක් රහිතව සිදු වීම නිසාද, අපේ මිනිසුන්ගේ කිසිදු ඉවක් බවක් නොමැති නිසාද වියපත් අයට සහ කුඩා දරුවන්ට ඇති අනතුර ගැනවත් කිසිදු සැලකිල්ලක් නැත. මූලික අරමුණ වනුයේ කෙසේහෝ බෝට්ටුවට නැග ගැනීම/පැටවීමය. මේවා අපේ අළුත් ශබ්ද කෝෂයේ 'ප්‍රයිවට් බෝට්ටු' ලෙස නම් කිරීමේ වරදක් නැත. දැන් අවශ්‍යව ඇත්තේ මුහුදු මාර්ග අංකයක් පමණි. මෙය ව්‍යාපාරයක් නොව සේවාවක් ලෙස මීට වඩා ආරක්ෂිතව, කාර්යක්ෂමව ඉටු කිරීම රජයේ වගකීම වන අතර, පෞද්ගලික සේවාවන්වල ගුණාත්මකභාවය වර්ධනය කිරීම අනිවාර්යය විය යුතුය. රුපියලක වාසිය තකා ඕනෑවට වඩා මගීන් පටවා ගත්කල බෝට්ටුව පෙරළුණහොත් ජීවිතාරක්ෂක කබා නැතිකල මගීන්ට සිදුවන්නේ බෝට්ටුවේ එල්ලා ඇති ටයර් හතරේ එල්ලීමට
.


Thursday, January 28, 2010

කියවීම සහ බයවීම: Stephen King සමඟ


බය වීම සහ බය කිරීම ශ්‍රේණියේ අවසාන ලිපිය වෙනස් මාතෘකාවකට හැරවීම මම මුල සිටම සැලසුම් කල දෙයකි. එහි මූලික කාරණය වන 'බය වීම' සම්බන්ධව අප දීර්ඝව කතිකාවතක යෙදුනෙමු. නමුත් 'කියවීම'??

ඔබ මේ පද පෙල 'කියවනවා' නම්, ඔබ කියවන්නෙකි. ඔබ කියවන්නට කැමැති කියවන්නෙකි. අපේ බොහෝ දෙනාට අද කාලය ඉතිරිව ඇත්තේ බස් රථවල නාම පුවරු කියවීමට පමණකි. තරුණ පරපුරට කාලය යෙදවිය හැක්කේ ( කල නොබැරිම අධ්‍යාපනික පොතපත හැර ) facebook හි comments සහ දුරකථන කෙටි පණිවුඩ කියවීමට පමණි. මැදිවියේ අයට පුවත්පත් වන අතර වියපත් අයට බණ පොත් පමණි. මම මේ අසාධාරණ ලෙස උපුටා දමනුයේ අසාධාරණ ලෙස තේරූ උපකුලකයක ස්වරූපය වන අතර මෙලෙස වර්ගීකරණයෙන් කිසිම උපහාසයක් බලාපොරොත්තු නොවෙමි.
කියවන්නෝද, කියවීමට කාලය වෙන්කරගත හැක්කෝද විරලය. සමාජ රටාව, ජීවන බර, රැකියා ආතතිය ආදී මෙකී නොකී බහු කාරණා හේතු කොට ගෙන මෙම තත්ත්වය උත්පාදනය වී ඇත. මූලික මාතෘකාව අමතක නොකොට නැවතත් එදෙසට හැරීම උචිත බව මම කල්පනා කරමි.

Stephen King ගැන නොදන්නා කෙනෙකු ඔහු ගැන දැනගත යුත්තේ ත්‍රාසජනක නවකතා සහ කෙටි කතා කරුවෙකු ලෙසය. ඔහු මේ ලෝකයේ සිටින එකම එවැන්නා යයි කීම විහිළුවකි. නමුත් ඔහු හොඳ කිහිප දෙනාගෙන් මූලිකම ස්ථානයක සිටී. මට මඳක් පක්ෂපාතීව අදහස් දැක්විය හැකි නම් මම ඔහු වර්තමාන සාහිත්‍යයේ හොඳම ත්‍රාස රචකයා ලෙස නම් කිරීමට කැමැත්තෙමි.

මම මුල් ලිපි වල සඳහන් කල චලන චිත්‍ර මාධ්‍යයේ වියැකී යන ත්‍රාස සාධකය (Horror Element) රචිත මාධ්‍යයේදී කෙතරම් සාර්ථකදැයි අත්හදාබැලීමක් ලෙස King කියවීම ආරම්භ කල මම අද එහි සාර්ථක බව ඉතා ඉහලින් වර්ණනා කිරීමට කැමැත්තෙමි. තවද මම එහි විශේෂයෙන් මතක් කල කාරණයක් නම් චිත්‍රපටයකදී අධ්‍යක්ෂකවරයා, ආලෝක අධ්‍යක්ෂකවරයා වැන්නන් ඔවුන්ගේ ආකල්ප බලෙන් ප්‍රේක්ෂකයනට පෙවීමයි. එය සාර්ථක වීමටද අසාර්ථක වීමටද සමාන හැකියාවන් ඇත. නමුත් රචිත මාධ්‍යයේදී සිදුවන විශේෂිත සංසිද්ධිය නම් පාඨකයාට අධ්‍යක්ෂ පුටුව හිමි වීමය.

Stephen King කියවීම ආරම්භ කිරීම පිලිබඳ වූ කෙටි සටහනක් දැන් තබමි.
1974 දී ඔහුගේ මුල්ම කෘතිය 'Carrie' ප්‍රකාශයට පත් වූ අතර නවතම කෘතිය 'Under The Dome' 2009 දී ප්‍රකාශයට පත් විය. ඒ අතරතුර වූ වසර 35ක කාලයේදී මිලියන 350 කට අධික පිටපත් ප්‍රමාණයක් ලෝකය පුරා විකිණී ඇති ඔහුගේ සාර්ථක කෘති රාශියක් විචාරක සම්මානයටද, චිත්‍රපට විශාල සංඛ්‍යාවකටද බඳුන් වී ඇත. (The Shawshank Redemption, Green Mile, The Mist ඒ අතර විශේෂයෙන් සඳහන් කරමි)
Stephen King මුලින්ම හඳුනා ගන්නා ඔබට මම නිර්දේශ කරනුයේ ඔහුගේ කෙටි කථා එකතුවන්ය. මෙම කෙටි කථා තුලින් ඔහුගේ රචක කෞශල්‍යය මනාව පිලිබිඹු වන අතර නාමිකව,
  • Night Shift (කථා 20)
  • Different Seasons ( කථා 4)
  • Skeleton Crew (කථා 22)
  • The Bachman Books (කථා 4)
  • Four Past Midnight (කථා 4)
  • Nightmares & Dreamscapes (කථා 24)
  • Hearts In Atlantis (කථා 5)
  • Everything's Eventual (කථා 14)
  • Just After Sunset (කථා 13)
ලෙස පෙළගැස්විය හැකිය. ඔහුව සහ ඔහුගේ විෂය කරුණු හඳුනා ගැනීමෙන් පසුව ඔහුගේ අති සාර්ථක නවකතා රාශිය ඔබට අනිවාර්ය අවශ්‍යතාවයක් වනු ඇත. ඉන් කීපයක් නාමිකව IT, The Stand, Pet Sematary, The Dead Zone, Misery, Bag of Bones ආදී වේ. Stephen King හා ඔහුගේ කෘතිවල එන විෂය කරුණු කීපයක් ඉදිරි ලිපියක සාකච්ඡා කිරීම අරමුණු කොටගෙන කියවීමෙන් බයවීම අත්හදා බැලීමට ඔබට ආරාධනා කරමින් නවතිමි.

Sunday, January 17, 2010

ඩෙංගු සහ දේශපාලනය

'පෘථිවියේ පරිභ්‍රමණය සහ ප්‍රේමය' යනුවෙන් ලිපියක් ලිවීම එක්කෝ සිදුවිය හැක්කේ ඔය දෙකෙන් එකක් ගැන පමණක් ලිවීමෙනි. නැත්නම් මොකෙක් හෝ පිස්සෙකුට ඔය දෙකම මිශ්‍ර කරගත නොහැක්කේද නොවේ. මම කියන්නට හදන දේ එවැන්නක් නොවේ. (දින කීපයකට පෙර මෙය අමාරු කාර්‍යයක් විය හැකිව තිබුණු බවද මතක් කරමි) නමුත් වැඩේට බහින්නට පෙර මාතෘකා දෙකම ස්වල්ප වශයෙන් අත පත ගෑම කරණ කොට ගෙන මම පොදුවේ සෞඛ්‍යය ගැන කීමට පටන් ගනිමි. මම දන්නා හොඳම මනුෂ්‍යයා බුදු හාමුදුරුවෝ වන අතර උන් වහන්සේ කීවේ 'ආරෝග්‍යා පරමා ලාභා' කියාය. ඒ බව තේරුම් ගැනීමට ඉතාම සුළු සෙම්ප්‍රතිශ්‍යාවක්ද ප්‍රමාණවත් බව නාසය සිරවී නින්ද අහිමි කරගත් රාත්‍රීන් පුරාවට මතක් වන්නේය. ඉතා සුළු සෙම්ප්‍රතිශ්‍යාව නිසා අහිමි වන්නේ නින්ද වන අතර මේ ලෝකයේ මනුෂ්‍ය වර්ගයාට වැලඳෙන අනේකවිධ රෝග සමුදාය හමුවේ සෙම්ප්‍රතිශ්‍යාව යනු තොත්ත බබෙකි. ඔබ වාසනාවන්ත නම් රෝගයට ප්‍රතිකර්ම තිබෙන අතර එසේ නැත්නම් නවීන විද්‍යාවටවත් ඔබව බේරා ගත නොහැකිය. මා දන්නා හොඳම මනුෂ්‍යයා නීරෝගීකම පරම ලාභය ලෙස සැලකුවේ ඒ නිසා විය යුතුය.

දේශපාලනය ගැන කීම අනවශ්‍යයය.

දැන් මා කියන්නට සැරසෙන්නේ ඊයේ පෙරේදා සිට මා දුටු දේශපාලනික සෞඛ්‍යය (සෞඛ්‍යමය දේශපාලනය) දැන්වීමක් ගැනය. දරුවෙකුගේ මිනී පෙට්ටියක් මිනී වලකට සාටකයක් (රතු සාටකයක්) මගින් පහත් කරනු ලබන අතර ඩෙංගු මරණ 350 ක් සිදුවූ වසරක් ලෙස 2009 නම් කරයි. දැන්වීම එපමණය නමුත් දික්විය යුතු තැන්වලට ඇඟිලි පමණක් නොව අත පයද දික්කර ඇත.

මගේ අමුතු මාතෘකාව පිළිබඳව මුලින්ම කෙනෙකුට කතා කිරීමට හැකිනම් ඒ මෙම දැන්වීම නිසාවෙන්ම විය යුතුය. (ලඟදීම දවසක පෘථිවි පරිභ්‍රමණය සහ ප්‍රේමය ගැනද දැන්වීමක් ප්‍රචාරය වීමේ හැකියාව ගැන පුදුම නොවන්න)

මගේ අරමුණ මෙම දැන්වීමෙන් දික්වූ ඇඟිල්ලේ ස්වභාවය සහ සාධාරණත්වය සලකා බැලීමයි. ඩෙංගු මරණ 350 සිදුකර ඇත්තේ එක්කෝ දැන්වීමෙන් පෙන්වන පරිදි (සාටක) ආණ්ඩුවය. නැත්නම් දවාලේ නිශ්ශබ්දව ඔබ වටේ කැරකුණු
Aedes aegypti කාරයාය. නැතහොත් ඌට නිදහසේ වැඩෙන්නට ඉඩදුන් අපි අපිමය. එක්කෝ මුන් ඔක්කොම වැරදිකාරයෝය, නැත්තම් එකෙක් හෝ වැරදිකාරයෙකි. ඔක්කොම නිර්දෝෂී නම් ඩෙංගු කියා රෝගයකුත් නැත, එය බෝවී මිනිසුන් මැරෙන්නේද නැත. කවුද දැන් වැරදිකාරයා (යෝ)?

ඩෙංගු යනු යම් අවදියකින් පසු සුව කල නොහැකි රෝගයකි. කලින්ම ප්‍රතිකාර නොගතහොත් හෝ ප්‍රතිකාරය නිසි ලෙස නොකල හොත් කණගාටුදායක අවසානයක් එළඹෙන බව 350 වතාවක්ම 2009දී දැක්කෙමු. ඩෙංගු වැලඳුනේ 350කට පමණක් නොවන බව කවුරුවත් නොකියන අතර එය 30,000 කටද වැඩි බව සංඛ්‍යාලේඛන සඳහන් කරයි..

මදුරුවා යනු ස්වභාව දහමේ එන තවත් එක් සතෙකි. (මොකට සිටීදැයි මම අනේක රාත්‍රීන්හි ප්‍රශ්න කරමි) සත්‍යය නම් උගෙන් (මට නොතේරෙන) යම් කාර්‍යයක් ඉටු වේ. ඌ ඇඟේ වසන්නේ 'මම ඩෙංගු බෝ කර මිස නොනැගිටිමි' යන චේතනාවෙන් නොවන අතර 'මම බඩ පුරවා ගෙන මිස නොනැගිටිමි' යන චේතනාවෙන් විය යුතුය. (අපේ මිනිස්සු කරන්නේද එයම නොවේද?) ඉතින් මදුරුවාට දොස් නැඟීම උගහටය.

ඉතිරිව ඇත්තේ උන්ගේ සුභසාදනය සඳහා ඇප කැපවී ක්‍රියා කල අපිය. අපිට ගසන්නට ඕනේ බූවලු වලින් වන අතර එසේ ගැසූ පසු තවත් පාරක් ගසන්නට අවශ්‍යය. එසේ ගසන්නේ නැවත එලෙස නොකිරීම සඳහාය. අපි කොතරම් කුසීත වී සිටියාද කිවහොත් මහජන සෞඛ්‍ය පරීක්ෂක පැමිණ අපේම වත්තේ ඇති පොල් කෝම්බ, ටයර් පෙන්වන විට කකුලේ මහපට ඇඟිලි වලින් ඇඹරෙන්නට ගත්තේ ලැජ්ජාවෙන් විය යුතුය. එසේනම් වගකිවයුත්තෝ කවුදැයි රටම දනී.

නිවසින් නිවසට සෞඛ්‍ය පරීක්ෂකලා පවා එවා, 30,000 කට වැඩි ප්‍රමාණයක් ගොඩ යවා රටේ ජනතාවගේ පරම ලාභය ආරක්ෂා කිරීමට කල සටන අවසන් වූයේ සාටකයෙන් මිනී පෙට්ටියක් වැලලීමෙනි.

මම මේ කතාකරන්නේ මැදහත්ව නොවන බව කියන්නෝ තම තමුන්ගේ හිස් වලට තට්ටු කර බොල් හඬක් ඒ දැයි පරීක්ෂා කරගත යුතුය.

Saturday, January 16, 2010

බය වීම සහ බය කිරීම - 2

ඔබ වාඩිවී සිටින පුටුව යට සර්පයෙක් සිටී!!!

ඔබ බියට පත් වූවාද? මඳක් පුටුව යට බලන්න. මම නිවැරදි විය හැකිය. මම නිවැරදි වීමේ සම්භාවිතාව කොතරම්ද කියා මට දැනගත නොහැක. නමුත් දැන් අප සිතිය යුත්තේ මා නිවැරදි වීමේ සම්භාවිතාව නොව ඔබ බිය නොවූයේ මන්ද යන්නයි. ඔබ බිය නොවූයේ ඔබේ බුද්ධියේ මානයට එහි ඇති අර්ථ විරහිත බව වැටහුණු නිසාය. ඔබ කොතරම් ආරක්ෂිත ස්ථානයක සිටිනවාද යන්න, මම ඔබ අසල නොසිටින නිසා මට කෙසේවත් එවැන්නක් දැනගත නොහැකි කම ආදී කරුණු ඔබේ බුද්ධියෙන් ක්ෂණයක් ඇතුලත විචාරා ඔබේ බුද්ධිය තීරණය කලේ ඔබේ පුටුව යට සර්පයෙක් නොසිටින බවය. නමුත් මම නැවත වරක් බලා සැක හැර ගන්න කිවූ විට මම ඔබ අසල නොසිටියත් ඔබ සමහරවිට පුටුව යට බලා සැක හැර ගැනීමට ඉඩ ඇත.

මම ඔබ අසල සිටියා නම් ඔබ දක්වන ප්‍රතිචාරය ඊට සම්පුර්ණයෙන්ම වෙනස්ය. එසේ වූයේ නම් මම මුලින්ම අනතුරු ඇඟවූ වේලේ ඔබ උඩ පැන දුවනු ලබන අතර (ටිකක් හෝ බුද්ධිමත් නම් කකුල් ඉහලට ඔසවන අතර) සමහර විට මට සිනහ වී 'අපි ඕවට බය වෙයි' කියා කියනු ඇත. මා ඔබව ඇත්ත වශයෙන්ම බියට පත් කර ඇත්ද? ඔබ බියට පත් වීමට ඉඩ ඇති හොඳම සිද්ධි දාමය නම්, මම ඔබ අසල සිටීමත්, අප සිටින ප්‍රදේශයේ නිතරම සර්පයන් ගැවසෙත්නම් සහ මගේ මුහුණේ තැති ගැණුනු ස්වභාවයක් ඇත්නම්ය. ඒ සියල්ල ඔබේ බුද්ධිය ගණනය කර ඔබට ඉන් ගැලවීමේ මඟක් කල්පනා වනු ඇත. මම ඔය සියල්ල හයක් හතරක් නොතේරෙන තොත්ත බබෙකුට කීවානම් පළක් නොවනු ඇත.

ඔබ මට පිස්සු කියා තීරණය කිරීමට පෙර, මා මේ සියල්ලෙන් අදහස් කරණුයේ '
බිය යනු දැනුමයි'. පොඩි කාලයේ අපි දැනුමක් නැති නිසා දුවන්නට ගොස් වැටුණෙමු. ඉන් පසු අපි වැඩිපුර දුවන්නට ගියේ නැත. නැතහොත් වැටෙන්නේ මෙලෙස දිවීමෙන් බව වටහා ගත්තෙමු. පොඩි කාලේ අපි දැනුමක් නැති නිසා රත්වූ කේතල අල්ලන්නට ගියෙමු. වරක් ඇඬෙන්නටම පුච්චා ගත්කල කේතලයක් දුටු තැන ගැහෙමු. වරක පාපුවරුවෙන් වැටී කකුල කඩා ගත් පසු වාඩිවී මිස බසයක නොයමු. බිය ඇති වන්නේ දැනුමෙනි...ඒ දෂ්ඨ කිරීමෙන් ඇතිවන විපාක ගැන දැනුමෙන් සර්පයාට බිය වන්නා සේය.
....
දැනුම.
....
බිය නැති වන්නේ දැනුම නැති වීමෙනි. මනුෂ්‍යයන් ලෙස අපට බුද්ධිය හෝ දැනුම නැති කරගත නොහැක. වරක් දැනගත් දෙයක් අමතක වීමට නම් එක්කෝ ඔබට අමතක වීමේ රෝගයක් වැලඳිය යුතු අතර එක්කෝ ඔබේ හිස තදින් කොහේ හෝ වැදිය යුතු
ය. එසේ වැදීමෙන්ද අමතක වීමට ඉඩ ඇත්තේ ඉහල තලයේ තොරතුරු පමණකි. ඉහලකි වැටුණොත් තුවාල වන බවද, ගින්නෙන් පිච්චෙන බවද අමතක වීමේ සම්භාවිතාව ඔබ පුටුව යට සර්පයෙක් සිටීමේ සම්භාවිතාවට ආසන්නය. ඊටද අඩුය.


මිනිසෙක් තුල බිය ඇති කිරීමට නම් ඔහුගේ බුද්ධියට කතා කල යුතුය.
මේ සටහන කිසිවෙකුත් බිය වැද්දීම සඳහා නොවන අතර අපේ ශරීර වලට අනුබද්ධ මූලිකම මෙම හැඟීම හදුනාගැනීමටය. තවදුරටත් යම් යම් දේට අප බය කල නොහැක්කේ මන්දැයි හඳුනා ගැනීමටය.

තව එකම එක සැරයක් මෙම ලිපියට ඉඩක් තබා මම යන්ට යමි. අර සර්පයා තවමත් ඔබ පුටුව යටයි. ඔබ නිකමටවත් බලන්නේ නෑ නේද...

Tuesday, January 12, 2010

බය වීම සහ බය කිරීම



වයසත් සමඟ බය වීමේ හැකියාව අඩුවන බව කවුරුහෝ පෙන්වා දී ඇත්නම් ඌ බොරුකාරයෙකි. අපි පොඩි කාලයේ ගෝනි බිල්ලන්ටද, කළුවරටද බයවූ අතර දැනුම් තේරුම් එන විට හොල්මන්, සර්පයන්, සැර බල්ලන් ආදීන්ට බිය වූයෙමු. වැඩිපුර චිත්‍රපට පොත්පත් කියවූ එවුන් වැම්පයරයන් සහ මිනිස් වෘකයන්ට බිය වූ අතර සමහරු අහේතුකව උසකට නැඟීමටද, වතුරට බැසීමටද, ගුවනින් යෑමටද බිය වූහ. සමහරු දෙවියන්ට බියවූ අතර සමහරු තම බිරියට බිය වූහ. මකුළුවෙකු දුටු විට කෑ ගසා ගෙන දුවන මැදිවියේ අය දුසිම් ගණන් අප අතරින් සොයාගත හැක. තමන්ගේ ඇඳ යට කිසියම් සතෙකු සිටින බවට බිය වී සිටියවුන්ද අඩුවක් නැත.

මට මතක ලෙස මම හොඳින්ම බය වූයේ ස්ටීවන් ස්පීල්බර්ග් මහත්මයා කළ විජ්ජාවක් නිසාය. කොහේවත් සිටි ඩයිනොසරයන් වගයක් සොයාගෙන උන්ගෙන් ලෝකයම බියවැද්දීමට එතුමා ගත් ප්‍රයත්නය තවමත් මම අගය කරමි. (මම දෑතින්ම ඇස් වසාගෙන සිටි බව මට අද මෙන් මතකය ) තිරය මත දැවැන්ත භයංකර සත්වයන් පරිගණක තාක්ෂණය මඟින් මවා කන් පැලී යන තරමට උන්ගේ ශබ්දයද මුසු කිරීමෙන් එතුමා කළ විජ්ජාව නිසා මම චිත්‍රපටවලටද, ඩයිනසෝරයන්ටද ඇබ්බැහි වූයෙමි. දෙවෙනි තෙවෙනි වර උන් කෙරෙහි තිබූ බිය සම්පූර්ණයෙන්ම මුලිනුපුටා දැමීමට මම සමත් වූයෙමි. අහෝ, නමුත් අද මම කණගාටු වන කාරණයක් නම් චිත්‍රපටවලට මා බිය වැද්දීමේ හැකියාව 5% ප්‍රමාණයකට අඩුවී තිබීමයි. එම 5% ද බය වන්නේ චිත්‍රපටය හැදූ එවුන් සිතා මතාම අඩංගු කරන උඩ ගොස් බිම වැටෙන ශබ්ද ප්‍රයෝග හෝ හදිසි චලනයන් නිසාය. දර්ශනයක අඩංගු ත්‍රාස සාධකය (Horror element) තවදුරටත් චිත්‍රපටවල දැකිය නොහැකි තරම්ය. ඒවා තිබුණත්, දැන් හැමදාම දකින් කරමල් මෙන් සුදුවෙලාය, දැකලාම එපාවෙලාය.

සිනමාව ඔබව බය කරනුයේ රූපය සහ ශබ්දය (සමහර විට චලනය) උපයෝගී කර ගෙනය. කවුරු හෝ ලියූ පිටපත කවුරු හෝ මනඃකල්පනය කරගෙන අපටද එම මනඃකල්පනය බලෙන් පෙවීම සමහරවිට සාර්ථක වීමට පුළුවන, සමහරවිට අසාර්ථක වීමට පුළුවන. මන්ද යත් ඌට දැනෙන බිය ප්‍රමාණය සහ අපිට දැනෙන බිය ප්‍රමාණය අතර කිසිම සබඳතාවයක් නැති බැවිනි. එය තේරුම් ගෙන ඇති නිසාදෝ චිත්‍රපටකාරයෝ අර මුළින් කීවා මෙන් 'ගැස්සෙන බිය' පමණක් ඇති කිරීම පුරුද්දක් කරගෙන ඇත.

සමහර චිත්‍රපට බය ඇතිකරන්නේ මනුෂ්‍යයන් විවිධ කෲර අන්දමට කපා කොටා දැමීමෙනි. සමහර ඒවා භූතාත්ම සම්බන්ධ ඒවාය. සමහර විට අද්භූත සත්වයෙක් හෝ මිනී කන කිඹුලෙක් වැන්නෙක් සිටී. සමහර විට අප හැමදාම දකින සාමාන්‍ය මිනිසෙක් චිත්‍රපටය අවසානයේදී හෙලිවන්නේ විකෲති මානසික මිනීමරුවෙක් කියාය. මීට වඩා දෙයක් නැති තරමට මේ සංකල්පම කරකවමින් සුළු සුළු වෙනස් කම් කරමින් තබා ගෙන සිටින්නේ හරියට විභාග ප්‍රශ්න පත්‍ර මෙනි. පසු ගිය අවුරුදු කීපයක පත්‍ර වලට පිළිතුරු ලිව්වේ නම් ඊළඟ එක අනුමාන කිරීම කජ්ජක් නොවේ. අර කිව්වා මෙන් දැන්නම් කරමල ඕනෑවටත් වඩා සුදුය.

මට අවශ්‍ය පසුබිම දැන් සැකසී ඇත. මා සාකච්ඡා කිරීමට බලාපොරොත්තු වූ කාරණය බිය දැනීමේ හා බිය කිරීමේ සාධක වල සාර්ථක භාවය වුවද එය පිළිබඳව අපි මී ළඟ වතාවේ කථා කරමු.

Monday, January 11, 2010

බළල් න්‍යාය

මගේ දෙපා අසල වැතිරී ලෝකයේ ඉන්නා කම්මැලිම සත්වයා (මතභේදයට හේතු විය හැක ) මා දෙස බලා සිටී. මම ඇස් පිය හෙලන විට ඊට අනුරූපව ඌද ඇස් පිය හෙලයි. අපි අතර සිදුවිය හැකි ලොකුම සංවාදය එය බව මට වැටහෙයි. ලෝකයේ සිටින ලොකුම කම්මැලියා, මගේ බළලාය.

කවුදෝ කොහේදෝ කියා තිබුනේ ලෝකයේ ඉන්න හොඳම බළලාගේ නම 'සේ සේ' කියාය. බළලුන් කොහේ සිටියත් එම හඬට දුවගෙන එන්නේ එනිසා බව සඳහන් වී තිබුණි. එය පිස්සෙක් කිවූ දෙයක් කියා ඔබ කීවත් ඊට වඩා සාර්ථක උත්තරයක් මට නම් හමුවී නැත.

ලෝකයේ පිරිමි ගැහැණු භේදයට වඩා සාර්ථක මානසික භේදනයක් විය හැක්කේ බළල් පුද්ගලයන් සහ බලු පුද්ගලයන් විය හැක. ඉන් අදහස් වන්නේ ඔබේ සුරතලා බළලෙක් හෝ බල්ලෙක් වීම මත ඔබේ මානසික ස්වරූපය නිරූපණය වීමයි..... මගේ සුරතලා කම්මැලියෙකි.

මා දෙස අනිමිසලෝචනයක් කරමින් සිටි බළලා දැන් නිදිය. ඌ දකින කල්හි මට හිතෙන්නේ ලෝකයේ ඇති පහසුම ක්‍රියාව ඇත්තේ ඌට කියායි. උදේට රැකියාවට යෑම වෙනුවට ඌ කරන්නේ අව්වට ගොස් පෙරලීමය. දවල් වේගන එන විට කුස්සිය පැත්තට ගොස් කැරකීමය. දහවල් ආහාරය ගැනීමෙන් පසුව නැවතත් බුදියෑමය. හවසට ටිකක් එළි පහලියේ හැසිරීමය. රෑට අහල පහල උන්ට ගොරවා ලොක්කා වීමය. හිතුන විට දුවගෙන ගොස් ගසක් මුදුනේ සිට බසින හැටි කල්පනා කිරීමය. සමහර එවුන් මෙන් හොරාකෑම සහ රාත්‍රී පිරිත් සජ්ඣායනය කිරීම ආදී අකුසල කර්ම මූ නොකිරීම මට සියුම් සතුටකි.

විටෙක සිතෙන්නේ බළලුන් යනු මිනිසුන්ට තේරුම් ගෙන ඉවර කල නොහැකි තරම් මොළකාරයෝ කියාය. සමහර මිනිස් මොළකාරයෝ මෙන්ම උන්ද ඉතා නිහඬව ඔහේ බලාගෙන කල්පනා කරති. පිරිසක් සිටින තැනකට බළලෙක් පැමිණියොත් ඌ ලං වන්නේ බළල් පුද්ගලයන් අසලට බව මම කළ නිරීක්ෂණයකි. එසේ කරන්නේ කෙසේදැයි මට කිසිම අදහසක් නැති වුවත් උන්ගේ මොළකාරකමේ හපන් කමක් කියා සිතීම උචිතය. ආහාර ගැනීමට පෙර මගේ කකුල් වලට උගෙන් විසුමක් නැති වුවද ආහාර ගැනීමෙන් පසු දික්කරන අත පයේවත් නොගෑවී ගමන් කිරීමද මේ අද්භූත මොළකාරයා සාර්ථකව කරන දෙයකි.

මගේ බළලා, ලෝකයේ ඉන්නා ලොකුම කම්මැලියා, තමුන්ගේ නම ලෝකයේ ඉන්නා හොඳම බළලාගේ යයි හිතාගෙන ඉන්න එකා, හිටියත් ගානක් නැති, දැක්කහම හිතටත් ඇති කපටි කෛරාටික රස්තියාදුකාරයා. ඕන්න උඹ ගැන මම අන්තර්ජාලයටත් දැම්මා. (ඒත් උඹ ඒක කවදා දැනගන්නද?)